ඡන්දෙ කාලේ – පුංචි කාලේ

by Thambaru Wijesekara

අපි මොන්ටිසෝරි හෝ 1, 2 වසරෙදි විතර.. ඒ කියන්නෙ 1999-2001 අතර වගේ. ඒ කාලෙ ඡන්දයක් තිබුණානෙ. මට මතක හැටියට මේ පාර වගේ ම පළාත් සභා ඡන්දයක්. වැඩිහිටියන්ගෙන්, TV එකෙන්, මග තොටේ පෝස්ටර් ආදිය දැකලා දැකලා ම ඒ කාලෙ ඇස් නිලංකාර වෙලා තිබුණෙ. දැන් වගේ ඔය නීති තිබුණේ නෑනෙ. බලන බලන තැන නිල්, කොළ, රතු කොඩි, පෝස්ටර්, රැළි වැහි වැහැලා. වැස්සක් වැස්සත් ඔයින් පාටකින් තමයි වැස්සෙ. 😛

චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිනෙ ඒ කාලෙ හිටියෙ. තාමත් ඒ නම අපේ කට්ටිය හැම එකේදි ම කියනවානෙ. උදාහරණයක් විදියට අපිට 4 වසරෙදි පාඩමකට ඉස්කොලෙ ටීචර් කිව්වා අද රෑ 7ට විතර චන්ද්‍රිකා බලලා දැකපු ගණන හෙට ඇවිත් කියන්නෝන කියලා. එකෙක් නැගිටලා කියාපි: චන්ද්‍රිකා බලන්න ඔච්චර ඉන්නෝන නෑ ටීච! ටීවී එක දැම්මාම හොඳට පේනවා! 😀 (ඒ ටීච හොඳ හින්දා ඌ බේරුණා 😛 )

ඒ කාලෙ බුලත් කොළ තිබ්බෙත් නෑ සන්ධාන තිබ්බෙත් නෑ. මට මතක කාලෙක ඉඳන් ම ‘පුටුව’ තිබුණෙ. ඉස්සර ‘අත’ලු තිබුණෙ නේද? ඒක තැන තැන ගැහුවාම අස්පට් හින්දා වෙන්ටැ මාරු කරේ. 😉 (තේරුණාද මන්දා) කොහොමවුණත් අනිත් පක්ෂවලට සාපේක්‍ෂව ඡන්ද ලකුණු මේ පක්සෙ තෝරගත්ත හැටි නම් මරු. නිතර දකින්න ලැබෙන දේවල් දාගත්ත ම පොඩි මෙව්වා එකක් තිබේ. (මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලදී 😛 ) අලියයි, සීනුවයි මාරු උනේ ම නෑනෙ? ඒකත් හොඳයි. ස්ථාවර බව පේන්ට. මේ පාර ගිනිසිළුවකුත් දැල්වෙනවා පේන්න තියෙනවා. ගොඩක් දේවල් මේවා ගැන හිතට ආවත් සුදු වෑන්වලට මං බය ය.! -_-

ඔය අල්ලපනල්ලෙ නිළී ඇන්ටිලා ටිකකුත් මේ පැත්තට බස්සලා. ගාල්ලෙ දිනුවට මාතර අපිත් එක්ක ඔව්වා ලේසි වෙන්නෑ. මට කීපදෙනෙක් ම කිව්වා උන්දැලා දිනුවොත් මුළු දිස්ත්‍රික්කෙට ම අං තට්ටු, වලිග, සූප්පු අරං දෙනවයි කියලා. හැබැයි ඉතින් එහෙව්වන්ට ඡන්දෙ දෙන අයත් ඇති. කරන වැඩවලට ඇරුණා ම ඇඟපත බලලා ඡන්දෙ දෙන අය. එහෙව්වෝ ඔයින් පෝස්ටරයක් ගෙදර ගෙනිහිං අවස්ස දෙයක් කොරගත යුතු ය. ~_~ මේකට හේතුව ඉතින් ඡන්දය, මැතිවරණය, අමාත්‍ය ආදී වචනවල බර හෑල්ලු  වෙච්ච  කරපු එක. ජනතාවට විහිළු සපයලා ටීවි එකේ පෙන්නවා ගත්තාම සේර ම හරි. කුඩුයි, බඩුයි, නඩුයි.. අයියෝ සල්ලි! 😛 හොඳ ඇමතිවරුත් ඇති. ඒත් මේ හරුපෙ තේරුම් ගන්ටෝන උන්දැලාව එහෙ යවන අපි. හා පුරා කියලා මගේ කුළුදුල් මෙව්වා එකත් කාට දෙනවද කියලා හිතාගන්ට බෑ. විභාගෙ වගේ එක්කො කණාවක් ගහනවා. 🙂

පොඩි කාලේ ඉතින් ඔය “කරන ලද සේවා” අනුව තෝරන්න ඕන කියලා තේරුමක් නෑ. අඩුගානෙ අපිත් ලොකුවෙලා ඡන්දේ දානවා කියලාවත් හැඟීමක් තිබුණෙ නෑ. ඒවුණාට ඡන්දෙ ගැන පිස්සුවෙන් හිටියෙ. ඒ කාලෙ මට කුරුටු ගාන පොතක් තිබුණා. දැන් වගේ FB, Twitter නෑනෙ. ඔය හිතට එන හැම බංබුවම ඕකෙ ලියනවා, චිත්‍රකථා අඳිනවා, Quotes දානවා ඊටීසී. ඒ පොත ආච්චි අරන් තියලා මට මේ ළඟදි පෙන්නුවා. විලි ලැජ්ජාවෙ සංතෝසෙ බෑ 😀 පරණ ඩයරියක්. අන්තිම පිටුවෙ-කවරෙ ලියලා තියෙනවා: “මෙය 9999 දක්වා සුරක්‍ෂිතව තබනු! …තබන්නෙ හොඳේ?” 😛

ඉස්සර මට Paddle කරලා පදින්න පුළුවන් කාර් පුංචක් තිබුණා. ඕකෙ හතර වටේ ම චොක්ලට් වලට හම්බවෙන ස්ටිකර් ගහලා ඒවා උඩ ඡන්ද ලකුණුයි අංකයි ගහලා තිබුණා. මම මොන්ටිසෝරි/ඉස්කෝලෙ යන එනකොට ඕවමයි පේන්නෙ බලන්නෙ. කොච්චර හොඳට බලනවාද කියනවනං, මට ඒ කාලෙ ත්‍රිමාණව පුටුවක් අඳින්න පුළුවන්කම ඇවිත් තිබුණා. ඉතින් අනංමනං කෑ ගගහා ගේ වටේ දුවද්දිත් “පුටුව කතිරෙ – විස්ස කතිරෙ” කියලා කවියක් වගේ කෑ ගහනවා. 😛 (මේ අවට ප්‍රසිද්ධ කෙනෙක්ගෙ එකක් ඒ කාලෙ. දැකලා ම පාඩං වෙලා 😀 )

අපේ ඉස්කෝලෙ පන්තියෙ එකෙක් හිටියා, මිනිහගෙ තාත්තා ඡන්දෙ ඉල්ලුවා. ඒත් පුටුවෙන්. ඉතින් ඉස්කෝලෙදි අපිට ඔය පුරාජේරු නිතර අහන්න ලැබෙනවා. ඡන්ද කාඩ්නුත් මෑන්ස් අපිට ගෙනත් දෙනවා. ඒවා ඉතින් වැස්සට ඔරු හදන්නයි, බෝලෙ ගේන්න අමතක උනාම බෝල ගහන්නයි (හරියට ම කිව්වොත්, Catch-අල්ලන්න) , කොල්ලන්ට දමලා ගහලා අහක බලාගන්නයි තමයි පාවිච්චි උනේ. එකක්-දෙකක් ගෙදර ගෙනියන්නත් ඇති. ඒ ඉතිං හවසට ගෙදරදි කරන ජාවාරම් වලට. 😀 මේ පොරත් අපේ මේසෙමයි හිටියෙ. මේස දෙකක් එකට තියලා 6ක් විතර වටේට ඉන්නවා. ටීචර් තැන් මාරුවෙන්න කිව්වට කොහෙන් හරි මාට්ටුවක් දාලා (මං නං) දොර ළඟ එක ම තැනක හිටියෙ අවුරුදු 2ක ම! එතන තමයි මුල් ම දවසෙ වාඩි වුණෙත්. ඉස්කෝලෙ ඇරියා ම පනින්නත් ලේසියි, බෝඩ් එකත් හොඳට පේනවා.

දැන් අර මං කිව්ව ළමයාට පොඩි ආතල් එකක් දෙන්ටෝන කියලා අනිත් 4 දෙනාව මං සැට් කොර ගත්තා. ඌ පුටුව – අපි විපක්සෙ. (කිව්වාට අනිත් හැම පක්‍ෂෙම) ඉතින් එදා ඉඳලා වලි! ඒකත් මෙහෙමයි, වැඩිපුර තියෙන පාට හෝ වැඩිපුර තියෙන ඡන්ද ලකුණ අනුව තමයි දිනන්නෙ. දැන් අරූ තනියම කෑ ගහනවා “බලන්න ඔයාලා වාඩි වෙලා ඉන්නෙ පුටුවලනෙ! එකයි.. දෙකයි..” (ඒ කාලෙ ඔය උඹ/බං/බොලං කීමක් නෑනෙ. සුද්ද ලේඛනවහර!) කරුමෙ කියන්නෙ ඩෙස් එහෙමත් නිල් පාටින් paint කරලා තිබුනෙ. ඒ බවක් නැතුව අපි, “ආ! ඔය වගේ ද අලි? කොච්චර සයිස් ද? මේ ඔක්කොම තිබ්බත් මදි!” ඒ පාර ඌ කියාපි “වැඩක් නෑනෙ, අලි කළුයි නෙ!” අපිට කට උත්තර නෑ. බැරිම තැන මං කිව්වා “අනේ යන්න! අලියා ඇවිත් මේ ඔක්කොම කුදුපත්තං කල්ලා දාවි” 😛 (දැන් කාලෙ තිබ්බානම්, බුලත් කොළෙත් කොළ පාටනෙ බං? කියලා CheckMate එක දෙන්න තිබ්බා 😀 )

ඉතින් හැමදාම ඔහොමයි. ගස් කොළ පාටයි, ඉස්කෝලෙ පටන් ගන්නෙ – ඉවර වෙන්නෙ සීනුවෙන්, ලේත් රතු පාටයි ආදී හැම එක ම කියලා ඌට අපි කිණ්ඩිය දානවා. ටීච ඇඳන් එන සාරියත් දෙපැත්තට ම හොඳ තුරුම්පුවක්. ඌත් නෙවෙයි අතාරින්නෙ. හැබැයි ටීචට බය හින්දාද, ආතල් එකට කියලා දන්න හින්දාද මන්දා, අපි ගුටිබැට යනකං දුර ගියේ නෑ, කොච්චර යටිගිරියෙන් කෑගහ ගත්තත්! හැබැයි කීප දවසක් ම ටීචගෙන් බැණුම් ඇහුවා ඕන නැති දේවල් කතා කරනවා කියලා.

කොහොමහරි ඡන්දෙත් ඉවරවෙලා, අපිත් ලොකු පන්තිවලට ගියා. ඒත් ඉන් පස්සෙ ඉස්කෝලෙන් අවුට් වෙනකම්ම දේශපාලනේ ගැන එක වචනයක්වත් අපි කතා කරලා නෑ. ඒක නිකම්ම නිකං සාමාන්‍ය දෙයක් වුණා.

Advertisements