විජේ මනාපෙ දෙයි!

by Thambaru Wijesekara

අනේ අෆ්ෆේ මයෙ මනාපෙ ඉතිං කාට දෙන්නෙයි.. (එන )ඡන්දෙට මං ඉල්ලන්න හිතාන උන්නට දැන්නං මට එක මනාපයක්වත් ෂුවර් නෑ. මෙහෙමයි ඉතිං.. දැන් ඉස්සර වගේ නෙවෙයි නෙවැ 😀 මා මහළු වයසේ… බැරිය එව්වා පෙර සේ. (කිව්වට පාසල් කාලේ කොරපු මගුලක් ද නැත) ඒක කිව්වා ම ය මතක් උනේ. ඒ කාලේ අපි 8-9 විතර දිග කලිසං ගහපු අයියලා දිහෑ බලන් හිතනවා “ෂහ්! එයාලා තමයි සේරම රන් කරන්නෙ. කෙල්ලොත් ඉන්නවලු. අපි තමයි ඉතිං ඊළඟට අයියලා වෙන්නෙ. බලමුකො අපේ වැඩ…” 😛 ඒ වුනාට ඉස්කෝලෙන් out වෙලාත් තාම අපි පොඩි එවුන් වගේ. සුරා සූදුවෙන් තොර, පොත මූණෙ ඔබාගත්ත ගමන්ම යි. (මූණු පොත නෙවෙයි. එහෙම  කිව්වත් වරදකුත් නෑහ් 😉 )

දැන් මේ ඡන්දෙ දැමිල්ලත් එහෙමයි. නැති කලට රත්‍රං. ඒ කාලෙ අම්මයි තාත්තයි උදේ ම ඡන්දෙ දාන්න යනකොට මායි නංගියි බලං ඉන්නෙ කොහි මොහොතෙ ද එන්නෙ කියලා. ආපු ගමන් කරන්නෙ දෙන්නගෙ ම ඇඟිල්ලෙ එල්ලිලා පාට වෙලා ද බලන එක. ඒ වැඩේ හෙන ආතල්. දැම්මෙ කාටද, ඒ ඇයි, කොහොමද දාන්නෙ කියලා අපිට තේරෙන් නෑ. සංතෝසෙ තමයි… ඇඟිල්ල පාට කරන එක. මාත් චූටි කාලෙ දවසක් අම්මලත් එක්ක ගිහින් පෝලිමේ ඉඳලා ඇඟිල්ල පාට කරං ආවා. ඒ දවස්වල අපිත් ඉස්කෝලෙදි ඡන්දෙ දානවා. කැමති අයට ඇයි ‘කතිරයක්’ ගහන්නෙ කියලා අපිට ප්‍රශ්ණයක් තිබුණා. ඉතිං ටීච වැරදි දැම්මාමත් අපිට සංතෝසයි. ඉතිං අපි කට්ටිය පේලියට ඉඳං කොළ කෑලි ඉරලා දෙනවා. තව එකෙක් ඇඟිලි පාට කරනවා. ඉතින් කොළේක මොකක් හරි ඇඳලා කතිරයක් ගහලා තව එකෙක්ගෙ පැන්සල් පෙට්ටිය ඇතුලට දාලා වහනවා. එකෙක් ඉඳං අඩිරූලෙන් පෙට්ටියට දෙකක් ගහනවා. (ඇතුලට වැටෙන්නෙ නැති නිසා ඔබනවා කියලා ඒ කාලෙ අපි දන්නෑනෙ. 😉 ) වැඩේ කියන්නෙ සමහරඋන් හොර ඡන්දත් දානවා නෙව!

“නැති කලට රත්‍රං” කියලා මං කිව්වෙ දැනට ම එපා වෙලා කියලා නෙවෙයි. වැඩේ තාම හෙන interesting. ඒත් අපේ අම්මලට ඕවැයි ගානක් නෑ. අද උදෙන් ම මං ඇවිටිලි කරා යමු කියලා. ඊයෙ රෑ ඉඳං මං වැඩේට ready. කාඩ්ටික රෑ තිබුණෙ මං ගාව. 😀 පොටෝ එකක් instagram එකට දාන්නත් අමතක කොරේ නෑ. මගේ අදහසක් තිබුණා ගෙදර ආපු ගමන් ඇඟිල්ලෙ පොටෝ එකකුත් දානවා කියලා. ඒත් හරියන්නෑ. මේක නිකං දැලි හට්ටියක් පෙරලං කාපුවා වගේ. අජූවයි. 😛

දැන් ඔන්න මමතුමා මෙහෙමයි ගියේ. උදේ අම්මා උයලා ඉවරවුණු ගමන් 8.00ට විතර යමු කියලා තමයි ලෑස්ති වුනේ. ගෙවල් ළඟ ඉස්කෝලෙ තමයි ඡන්ද මධ්‍යස්ථානෙ තිබුණෙ. මම ඉතිං ටිකක් කලින් ඇඳගෙන හැඩවැඩ උනා. මං කලින් පෝස්ට් එකක කිව්වනෙ අපෙ අම්මගෙ කතාව? “මූ ගෙදරින් එලියට බහින්නෙ මනමාලි වගේ. වරුවක් ලතවෙනවා.” ඒ උනාට එහෙ මෙහෙ හැරි හැරි අමතක වුණ දේවල් හොයනවයි, ෆෝන් එක charge කරන්න අමතක උනොත් ඒක ඉවරවෙනකනුයි තමයි ඉතිං. එච්චර කරලත්නෙ දවසක් අර පර්ස් එක අමතක උනෙ. කෝමහරි අම්මවත් ඇදගෙන එළියට බැස්සා. ඒත් ගමේ කවුරුවත් දැන් ම යනපාටක් නෑ. මම කලින් යමුය කිව්වෙත් ඒකමයි. නැත්තං වස නෝන්ඩිය. 😛 “හානේ පුතා මේ පාරද මුලින් ම දාන්නෙ?” “කාටද දාන්නෙ? අනාකලී අක්කිටද?”

දන්නෝනෙ, මං කෝමත් බිම බලන් තමා ගමන. ඔන්න මට පේනවා පාර දිගට කාඩ් වගයක් වැටිලා තියෙනවා. එක දිගට, ඇවිදින පැත්තට ම හරවලා අනේ.. කාගෙ හරි අතින් ඒවා ටික පාරදිගේ වැටිලා. පව් අනේ.. ටිකක් බැලින්නම් ඒකෙ (මට තාම මතකයි, ඒත් නොකියමි) අංකෙකුයි, පක්ෂ ලකුණයි, නමකුයි දාලා තිබුණා. පාට කියනවනං ඉතිං.. අහසෙ පාට. හරිනෙ? 😉 මටයි අම්මටයි හොඳට ම හිනා, මේ විකාරෙ දැකලා. ලයිට් කණුවල ගහපු posters තාම තියෙනවා. ප්‍රධාන පාරෙ එක ගෙදරක ඒ දවස්වල මැතිවරණ කාර්යාලයක් තිබුණා. දැන් ඒවා ඉවත් කරලනෙ. ඒත් ඔන්න ලොකූවට මහින්ද මාමිගෙ පොටෝ එකක් ගහලා, වරුණාවක් තියෙනවා. හරිය? අකුරු ටික සුදු පාටයි. ඒත් අර වචන අතරෙ රතු පාට අකුරු වගයක් තිබුණා. බැලින්නං මේ පැත්තෙ ප්‍රධාන අපේක්‍ෂකයෙක්ගෙ නම! අයියෝ සල්ලි. අපි ඕවා බලමින් යනකොට ඉස්කෝලෙට කිට්ටු වුණා. (වැඩි දුරක් නෑ)

ඡන්දෙ දාපු සමහරු දැන් එළියට බැහැලා එනවා. ඔය අස්සෙ හිටියා අපේ ක්ලාස්මේට් (කිව්වෙ, ටියුසං ක්ලාස්) කෙල්ලක්. ඈ යනගමන් අම්මලා අහක බලනකං ඉඳලා පනාවකුත් දාලා මට සුළැඟිල්ල පෙන්නුවෙ නැතෑ. 😀 මට විලිලැජ්ජාවෙ බෑ. (ඒකි තේරුම නොදන්නවා, ෂුවර්) අනික දැන් තියෙන ink එක පාට වෙන්න ටිකක් වෙලාවත් යනවනෙ. 😛 ඇතුලට යනගමන් අම්මා කිව්වා “දැන් ඉතින් මං අම්මිත් එක්ක ආවෙ, අම්මි ඕනෙ කියලා අඬන්නැතුව පිරිමි පෝලිමට යන්න කියලා” 😀 හැබැයි ඒ වෙලාවෙ වැඩිය කට්ටිය නැති හින්දද කොහෙද එක පෝලිමයි තිබුණෙ. දැන් ඡන්ද මධ්‍යස්ථාන නිලධාරීන් ටික අපේ දිහා කන්න වගේ බලන් ඉන්නවා. ඔය අතරෙ මට පුරුදු හිනාවකුත් තිබුණා. බැලින්නං දෙයියනේ අපේ 11 වසරෙ බුද්ධාගම සර්. ආසාවෙ බෑ, කාලෙකින්නෙ දැක්කෙත්. ඒ දකිනකොට ම මට අත හිරිවැටෙනවා වගේ දැනුනා. පන්තියට සර් මුලින් ම ආපු දවසෙ කියාපි, අච්චු පොත නැති ළමයි නැගිටින්න කියලා. ඒ කාලෙ ඔච්චර බර උස්සන් යන්නයැ? අපිට ලාවට කොළුකම තිබුණ හින්දා කෝමත් බෑග් එක ලොකුවෙනවට කැමති නෑනෙ. 😉 මාත් නැගිට්ටා ඉතිං. ටිකකි වෙලාවකින්…. ouch! මතක හිටින්න ම අත හිරිවැටුණා. 😦

ඕවා කල්පනා කර කර ඉන්න ගමන් කොහොමද වැඩේ කෙරෙන්නෙ කියලා මං බලාගත්තා. වම් පැත්තෙ කොළේක පක්ස වල රූපයි, අපේක්සකයන්ගෙ නමයි ගහලා තිබුණා. මං කරේ නිළියන්ගෙ ෆුල් නේම් බලපු එක. යකෝ ප්‍රසිද්ධියෙ අපිට ඇහෙන එව්වා නෙවෙයි. අනේ මන්දා. කෝමහරි, ඇන්ටිලා ටිකක් තමයි අපේ නම් කියවන්නෙයි, කාඩ් එකයි – හැඳුනුම්පතෙයි ගැලපුම චෙක් කරන්නෙයි ඊටීසී. මගේ නමටත් එහේ කොලේ පැන්සල් ඉරක් වැදිලා ඡන්ද කාඩ් එකත්  දෙකට ඉරුණා. ඔන්න ආසම වැඩේ. පපර පැප්ප පෑං. ඒ ඇන්ටි නැ, අක්කා මගේ වම් අත හොඳට අල්ලගෙන ඉන්නවා. මාත් එයාට මගෙ සුළැඟිල්ල දුන්නා. ඇඟිල්ල හොඳට බදාගෙන එයත් ඔන්න පෑන ගානවා. ඒ අස්සෙ මං බැලුවා මළ හත්තිලව්වයි, එයා දමාගෙන උලනවා, ගෑවෙන්නෙ නෑ.  😀 මං ඒත් හිතුවා පෑන ඉවරවෙලාවත් ද කියලා. පස්සෙයි වැඩේ මීටර් උනෙ. ඡන්ද පත්‍රිකාව ඊළඟට ලැබුණා. ලැබුණා කිව්වට එ්ක ඉරලා සීල් එකකුත් ගහනවලුනෙ මං දන්නවැයි ඕවා. ඉරපු ගමන් මං ඇදලා ගත්තා ම.. “මොකද මල්ලි හදිස්සි?”. 😛

ඒ පාර ඔන්න පොඩි කාඩිබෝඩි පෙට්ටියකින් වහපු පොඩි (කිව්වට, ටිකක් ඉඩ ඇති) මේසයක් තිබුණා. ඕක උඩ මං ඒකත් තියාගෙන… මොකෝ කට ඇරං බලං ඉන්නෙ ඈ? 😯 හැංගිලා ඉඳං මං කොරපු වැඩේ ඔහෙට කියන්නෙ නැත! 😉 මං ඉතිං හැමෝට ම කැමතිනෙ. කාගෙවත් හිත් නරක් කරන්නත් හොඳනෑ, නොදුන්නා කියන්නත් බෑ, ඉතින් හැමෝට ම දුන්නා. ආදලෙයි ඇමෝටම! දුන්නා මනාපෙ!!

කොළේ හතරට නවලා පෙට්ටියට දැම්මා. අපේ සර් අඩිරූලත් තියන් ඉන්නකොට මට ආයි බය හිතුණා. 😀 මං සර්ට “යන්නං සර්“ කියලා හිනාව දැම්මා. වැන්දෙ නම් නෑ. සර් පිටට තට්ටුවක් දාලා ‘හරි පුතා‘ කිව්වා. අම්මා ‘පිටවීම‘ දොරටුව ළඟ ඉඳං මට ඉඟි කරා. මට තේරුන් නෑ. යනගමන් කිව්වා “සර්ව අමාරුවෙ දාන්න ද හැදුවෙ, ඔන්න සර් කියපු කෙනාට මං දුන්නා කියල ද කිව්වෙ? 😀 ” කියලා. මට එතකොටයි බරපතලකම තේරුණෙ. ඒත් කාලෙකින් දැකපු ඒ මනුස්සයට කෘතඥතාව පළ නොකර කොහොමදැ!

ඕං ඔහොමයි මයෙ මනාපෙ එයාට (එයාලට 😉 ) දුන්නෙ. අද හවස් වෙනකොට කැමැත්ත දැනගන්නකං මට ඉවසිල්ලක් නෑ. ආහ්! අද රෑ 9ට ජාතික රූපවාහිනියෙ ‘කොළඹ සන්නිය‘ බලන්න මං ප්ලෑං කොරං ඉන්නෙ. මරු ෆිල්ම් එක. 😀

Advertisements