බෞද්ධ අපේ හිමිවරු නිවැරදි ද?

by Thambaru Wijesekara

හැමෝටම සුබ අළුත් අවුරුද්දක් වේවා! ඕන්න මං මේ පාරත් අවුරුදු තෑග්ගක් අරං ආවා. 🙂 හැබැයි මාර්තුකාව ඇහුවාමත් නිකං ඇඟ හිරිවැටෙනවා වගේ නේද? මං දැන් “cool down” කිවුවොත් ඔබ මාව down කරනවා ෂුවර්. 😀 දැන් මෙතෙන්දි එකෙන් ම මතක් වෙන්නෙ මේ ටිකනෙ: “බොදු බල සේනා, සිංහල රාවය, ගිනි තබා ගැනීම්, ගවයන් මැරීම වළකමු, ගවමස් නොකමු, දේශපාලනය හාමුදුරුවන්ට කැපද?” මගේ ටිකිරි මොළේට තේරෙන විදියට මේවා ගැන පොඩි සටහනක් දාන්න හිතුවා. හැමදාම කියන්න වගේ අඩුපාඩු, යෝජනා, චෝදනා, සාකච්ඡා, ඔබේ මතයට ඕනැවටත් වඩා මෙතන ඉඩ තියෙනවා. හිත ඇත්නම් මොකද්ද කුඩා ද කියනවනෙ? 😉 මුලින් ම අපි “බුද්ධාගම” කියන්නෙ මොකද්ද බලමු. ඔන්න, එතනින්ම… අහුවුණාද වැරැද්ද? බුද්ධාගම කියන්නෙ ආගමක් නෙවෙයි. 🙂 එතකොට මොකද්ද බොල ආගමක් කියන්නෙ? 😡 ආගමක් කියන එකට අර්ථදැක්වීමක් නම් මම කියවලා නැහැ. හැබැයි ආගමක් කියන එකේ අදහස ශාස්තෘන් වහන්සේට බියෙන්/නීතියකට යටත්ව කරන “ඇදහීම”ක් ලු. ඒ කියන්නෙ, දේශනා කළ දේවල් ඒ විදියට ම කරන්න ඕන, ඒ වගේ ම මේ මේ වෙලාවල් වලට අනිවාර්යයෙන් ම පුද පූජා කරන්න ඕන, කළේ නැත්නං අවුල්. අන්න ඒක නිසයි බුදු රජාණන් වහන්සේගේ දේශනාව සහ මාර්ගය ආගමක් නොව, දර්ශනයක් වෙන්නෙ. ‘බෞද්ධ දර්ශනය’ !! පැහැදිලිනෙ?  ඒ කියන්නෙ බෞද්ධයන්ගෙ ‘භක්තිය’ක්, ඒ කිව්වෙ ‘බයක්’ නෑ. බුද්ධ දේශනාවෙ කොහොවත් උඹලා මෙහෙම කරන්න ම ඕන! නැත්තං තොපිට …. 😀 කියලා නැහැ. හැබැයි, වැරදි… එහෙම නැත්නම් පව් කළා ම සිද්ධ වෙන ඵලවිපාක විස්තර කරලා තියෙනවා. හොඳ කළා ම ලැබෙන යහපත විස්තර කරලා තියෙනවා. එතකොට නුවණැත්තන් (ඒ කිව්වෙ නුවණ නැත්තන් නෙවෙයි හොඳෙ? නුව+ණ්+ඇ+ත්තන් 😉 ) විසින් තේරුම් ගන්න ඕන හරි මාර්ගය කුමක්ද කියලා. හොඳයි, එතකොට විනය පිටකය තියෙන්නෙ තියං නිදාගන්න ද? විනය පිටකය ඇත්තට ම ස්වාමීන් වහන්සේලාට අනුගමනය කරන්න දේශිත කොටසක්. මොකද ගිහිගෙය අතෑරපු ගමන් කෙනෙක්ට හිතා ගන්න බැහැ මොනවද දැන් කරන්නෙ, මොන විදියට එදිනෙදා කටයුතු කළොත් ද සංසාරය ජයගන්න පුළුවන් කියලා. ඉතින් හරි මාර්ගය දන්න කෙනා මේ රීති, නීති හැටියට තමන්ගෙ සාර්ථකත්වය සඳහා දක්ෂව යොදාගන්නවා. පුළුවන්නම් විනය පිටකය කියවන්න. හරි රසවත්. අපිට වුණත් එදිනෙදා දේවල් හරියට කරන්න ඒකෙ කියලා තියෙනවා. රෙදි සෝදලා වැලේ දාන්නෙ කොහොමද, මකුළු දැල් කඩන්නෙ කොහොමද කියන තැන ඉඳලා ම!

ගවමස් නොකනු – මත්පැන් නොබොමු

පොඩි කාලෙ 5වසරෙද කොහෙද බුද්ධාගම පොතේ අනගාරික ධර්මපාල තුමා ගැන තිබුණා. ඒකෙ එතුමන්ගෙ රථයෙ photo එකකුත් තිබුණා. ඒකෙ ඔය ඉහත වැකිය තිබුණා, හොඳට මතකයි. ඒ කාලෙ අපි ඕකට නානාප්‍රකාර දේවල් කියනවා. ගවමස් අවුලක් නෑ, කුකුළු මස් චුට්ටක්… මත්පැන් අවුලක් නෑ, සිගරට් එකක්… කියලා 😀 ඔන්න ඒ කාලෙමයි අපිට හිතුනෙ ඇයි මේ හරක්මස් වලට විතරක් විරුද්ධ වෙන්නෙ කියලා. ධර්මපාල තුමා ගැන නෙවෙයි මම මේ කියන්නෙ. එතුමන් කරපු සේවය අතිමහත්! (හෙට එනකොට ඔය පාඩම කියවලා එන්න! 😉 නැත්තං එතුමාගෙ සේවාවනුත් මෙතන දැම්මොත් ආච්චාරුවක් වෙනවනෙ.) ඉතිං මේ නූතන අයත් හරක්මස් වලට හෙන කේස් නෙ. ඒත් ඇයි අනිත් ඒවා? කුකුළු, එළු, මාළු ඊටීසී. උන් සත්තු නෙවෙයි ද? නැත්නං උන් කෑවාට පව් නැද්ද?

මස්මාංශ අනුභවයට… නෑ මෙහෙමම කියමු. ‘මස් කන්න‘ අපිව පුරුදු කරේ අපේ උත්තරීතර අම්මයි තාත්තයි. මං ‘උත්තරීතර’ කිව්වෙ අපහාසයට නෙවෙයි. මොකද දෛනික ප්‍රෝටීන අවශ්‍යතාව සපුරාගන්න අපිට ආදරෙනුයි අම්මලා එහෙම කළේ. කිසි වරදක් නෑ. එයාලට එහෙම කරන්න කිව්වෙ සෞඛ්‍ය අමාත්‍යංශෙ නෝනා මහත්තුරු. එයාලා එහෙම කළේ සෞඛ්‍යමත් ජනතාවක් ගොඩනගන්න. ඒ හින්දා දැන් අපි මුල ගැන හිතලා වැඩක් නෑ. මස් කන්නෙ ඇයි කියලයි හිතන්න ඕන. දවසකට අවශ්‍ය ප්‍රෝටීන් ප්‍රමාණය ඉතා සුළුයි. එහෙනම්, ඒ සඳහා මස්කන කෙනෙක් ඒ ග්‍රෑම් ගණන විතරක් ගනීවි. ඒත් එහෙම නෑ නේද? කන්න ගියාම එලොවක් මෙලොවක් නෑ, බොන්න ගියා ම බයිට් එකට නැතුව ම බෑ. 😀 අපි මස් කන්නෙ රහට. නැත්නං ඇයි දේවානම්පියතිස්ස ලොක්කා දඩයමේ ගියෙ? හාමතේ ද? 😀 රස තෘෂ්ණාවට. තෘෂ්ණාව නිසා ඇතිවෙන්නෙ මොකද්ද? දුක. දුක මොකද්ද? කොලෙස්ටරෝල්, හෘදයාබාධ. අන්තිමට අවසාන කාලෙ තෙල් කෑම කන්ට තහනං වෙනවා. අනිත් අය කන හැටි දැකලා, උජාරුවට “මට කොලෙස්ටරෝල් නෙ..” කියලා කිව්වට හිත යටින් දුකයි “කන්න ඇත්නං?” කියලා. 🙂 සත්ව ප්‍රෝටීන තරම් දිරවන්නෙ නැති වුණත් ශාක ප්‍රෝටීන් වලින් මේ අවශ්‍යතාව සපුරාගන්න පුළුවන්. හැබැයි වැඩිපුර කන්නෝන. ඒ කාලෙ මිනිස්සු කෑවෙම ධාන්‍ය වර්ග. ප්‍රෝටීන් ආකර! ඒ හින්දා මං කියන්නෙ නෑ මෙතැන් පටන් මස් කන්න එපා කියලා. තීරණය ඔබේ අතේ.

දැන් හාමුදුරුවරු ගැන බලමුකො. ගොඩක් දෙනෙක් දැන් පුරුදු වෙලා ඉන්නවා උන්නාන්සෙලාට හොඳනං අපි කරාම මොකද කියලා අහන්න. පිටින් බැලුවා ම ඒකෙත් වැරැද්දක් නෑ. ඒත් අපි ගැඹුරින් ( 😯 කැල්කිය්‍යුලස්ගේ ටික්‍රි මොළේ ගානට. හොඳෙ?) බලමු. මේ ළඟපාත හිමිනමක් ඉන්නවා.. හවස් වෙනකොට ඇබිත්තයාට කියලා බෝතල් කාලක් ගෙන්නවා ගන්න. ගාල්ල පැත්තෙ දානෙ ගෙදරකදි මට දැනගන්න ලැබුණා දකුණු පළාතෙ ලොකු ම bank account එක තියෙන හිමිනමක් ගැන. 😀 තායිලන්තෙ නම් රෑටත් පිඬුසිඟා වඩිනවලු. (මටනං ඕක අහපු ගමන් වෙන එකක් හිතුනෙ 😛 ) එච්චර ඕනි නෑ, ප්‍රසිද්ධියෙ කෑ මොර ගහ ගන්න ඒ ‘සිවුරු පොරවා ගත් ගිහියන්’ ගැන මම අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනෙ? රහත් වෙන එකත් දැන් පට්ට ලේසිනෙ. නේද? මාස 3න් සෝවාන් කරන භාවනා වැඩසටහන්, තැපෑලෙන් නිවන් දක්කන සේවාවන් එහෙම එමට! මේවා කරන අය එක්කෝ මේවා කරන්නෙ මුදලට. නැත්නම් තමන් ගැන වැරදියට වටහාගෙන. ඒ කිව්වෙ ඔය විශුඬිමාර්ගයෙ එහෙම තියෙනවා භාවනා කරද්දි ලැබෙන අත්දැකීම්. විවිධ ආලෝක පේනවා, මේ මේ හැඟීම් දැනෙනවා ඊටීසී. ඒ පොත බුද්ධ දේශනාවක් නෙවෙයි. අපේ පැරණි ගෞරවණීය ස්වාමීන් වහන්සේලා තමන් ලද අත්දැකීම් අාධුනියකයන්ට පහසුවක් වෙයි කියන අදහසින් රචනා කරපුවා. ඒත් මෙහෙම එකක් කියවලා නිකන් ඇස් පියාගත්තත් “ආලෝක දැකීමේ තණ්හාව“ අපේ හිතේ හැංගිලා ඉඳං මැජික් පෙන්නනවා. හිත මැජික් කාරයෙක් බව බුදුහාමුදුරුවො ම කියලා තියෙනවලු. උන්වහන්සේ කියන්නෙ “හතර මං හන්දියේ මායාකාරයා” කියලා. ඒ කියන්නෙ මොන පැත්තෙ ඉඳං සෙනග ඒ දිහෑ බලන් හිටියත් වැඩේ අල්ලගන්න අමාරුයි. ඒ තරම් දක්ෂ විදියට අපිව අමාරුවෙ දාන “දුක් දෙන මිතුරා” (-මහ රහතුන් වැඩි මඟ ඔස්සේ) තමයි මේ සිත. ඉතින් ඔය යෝදයාට රැවටෙන්න එපා. එහෙම උනොත් සීලබ්බත පරාමාස (වැරදි වෘත) වලට නොදැනුවත්ව ම යොමුවෙලා අනිසි විදියට සක්කාය දිට්ඨිය (‘තමා’ යන හැඟීම) වර්ධනය වෙන්න පුළුවන්. එතකොට මාන්නය ඇතිවෙනවා. මං තමයි පොර, මං රහත් වෙලා!! 😈

බෞද්ධයා නාලිකාවෙ “සම්මෝහ විනෝදනී” වැඩසටහනේ ස්වාමීන් වහන්සේ නමක් කිව්වා “සමහර වෙලාවට හොඳට හිටිය ස්වාමීන් වහන්සේලාට මානසිකව ඇතිවන ගැටළු හමුවේ එකවරම පෙර ස්වභාවයෙන් ම නානාප්‍රකාර දේවල් කියවෙන්න පුළුවන්. එතකොට ශ්‍රාවකයන් නුවණින් විමසා දැනගන්න ඕන, එදා දේ, අද දේ සහ බුදු දහමේ සඳහන් දේ ගැලපෙනවා ද කියලා.”

අපි ස්වාමීන් වහන්සේලාට සහ බුදු දහමට ගරු කරන්නෙ ඇයි? අපිට හරි මාර්ගය කියලා දෙන නිසා ඇතිවන ශ්‍රද්ධාවෙන්. ශ්‍රද්ධාව කියන්නෙ මොකද්ද කියලා හොයලා බැලුවද? උත්තරේ දෙන්න කලින් මෙහෙම බලමු. ඔබේ භාර්යාව / පෙම්වතිය ( 😛 එහෙම නැති මං වගේ අයට..), අම්මා, තාත්තාට ඔබ ආදරෙයිනෙ. ආදරය කියන්නෙ එක ම දෙයක්. අහවලාට මෙච්චරයි, මෙයාට මේච්චරයි කියලා කිව්වාට හෝමෝන සහ රාගය එක ම ගානට තමයි ඇතිවෙන්නෙ, මට තේරෙන හැටියට. ඒත් ආදරේ එක එක අයට අපි දක්වන සීමාවන් තියෙනවානෙ. භාර්යාව දෙස බලන ඇසින් අම්මා දිහා බලන්නෙ නෑනෙ. (දැන් කාලෙ නම් ඒකත් නෑ.) අන්න එතන තියෙන්නෙ ගෞරවය. ආදරයයි ගෞරවයයි එකතු වුණා ම අමුතු හැඟීමක් ඇතිවෙනවා නේද? උත්තරීතර බවක්? අන්න ඒ උත්තරීතර හැඟීමට තමයි ශ්‍රද්ධාව කියන්නෙ. අම්මාටයි, තාත්තාටයි අනිත් ඔබ සලකන හැම කෙනෙකුටමයි අපි තුළ ශ්‍රද්ධාවක් තියෙනවා. දැන් තේරෙනවනෙ, ඒක (වැඩි ශ්‍රද්ධාවෙන්) පොත්වල ශාසනයට විතරක් වෙන් කළාට, ලෞකික ජීවිතයෙ තියෙන්නෙත් ඒකමයි. කනවා – වළඳනවා වගෙ. ඒත් හරියට මේ දෙක mix වුනේ නැත්නම්, ඒ කිව්වෙ ආදරේ වැඩි වෙලා ගෞරවය අඩු උනොත් ඔය හවසට බෝධි පූජාවලට කියලා එන සමහර-ක් කෙල්ලන්ට පුළුවන් පොඩි හාමුදුරුවන්ව දැලේ දාගන්න. ඒ වගේ ම ගෞරවය විතරක් වැඩි වුනොත්, අපි හාමුදුරුවරු එක්ක කතාවට යන්න බය වෙනවා. උන්වහන්සේලාට කරදරයක් වෙයි කියලා. මටත් ඒකනම් තිබුණා. වැරදි දෙයක් නිකමට හරි කියවුනොත් කියලා. ඒකෙන් දෙපාර්ශවය ම අඵාසුවට ලක්වෙනවා. ගිහියන්ට විචිකිච්ඡාව දුරු කරගන්න අවස්ථාව නොලැබී යනවා. ස්වාමීන් වහන්සේලාට (අපේක්‍ෂා නොකළත්) දානමානාදියෙන් අඩුපාඩු සිද්ධ වෙනවා. ඒ හින්දා ගානට balance කරගෙන මෝඩ ශ්‍රද්ධාවටත් නොයා වැඩේ ශේප් කරගන්න මතක තියාගන්න ඕනැ. අර නිදාගන්න ගිහින් කකුල් තියාගන්න දිශාව ගැන කල්පනා කර කර නිදිවරපු උපාසිකාව වගේ නැතුව. 😛

ඊළඟට මං කියන්නම් කොහොමද මේ දේවල් මෙහෙම තියෙද්දි අපි ජයග්‍රහණය කරන්නෙ කියලා. මේ මොළේ නං මට පෑදුනෙ මහ රහතුන් වැඩි මග ඔස්සේ කියෙව්වාට පස්සෙ. ඒ නිසා full credit එක ඒ උතුම් ස්වාමීන් වහන්සේටයි, මට ඒක ලැබුණු කළ්‍යාණ මිත්‍රත්වයටයි යන්න ඕන. දැන් මේ වගේ වැරදි දේවල් දකිද්දි ඕන කෙනෙකුට මල පනිනවනෙ? අපි තමයි හරි, මේ මොන ….ක්ද මුං කරන්නෙ කියලා අහන්න හිතෙනවනෙ! ඔන්න මට නං ඒ දවස්වල එහෙම හිතුණා. ඒ, මෝහය. හරිහැටි නොදක්නා මෝඩකම. අර මං කලින් කියපු මැජික් කාරයා අපිව රවට්ටන තවත් විදියක් මේක. අපි ඒකට අහුවුණාම පටිඝය (ගැටීම) ඇතිකරගන්නවා. ක්‍රෝධයෙන් කෑ ගහනවා. උද්ඝෝෂණ කරනවා, ගිනි තියා ගන්නවා. (සහ බොගදාන්න හිතෙනවා 😛 ) හානිය කාටද? අපිට ම යි. ක්‍රෝධය ගැන උපමා ගොඩක් ධර්මයේ තියෙනවා. ගිනියම්වූ යකඩ බෝලයකින් (අතට අරන්) අනිකුන්ට ගහනවා. (වීදුරු ගෙවල්වල ඉඳන් ගල් ගහනවා කියලත් සාමාන්‍ය ව්‍යවහාරයේ තියෙනවනෙ), තව කෙනෙක් මරන්න ඕනෑය කියලා හිතාගෙන තමන් වස පානය කරනවා ආදිය. ඉතින් ඒ කියන්නෙත් තරහ ඇති කරගන්න එකෙන් ඵලක් නෑ. මෛත්‍රී කරන්න ඕන. කොච්චර මෛත්‍රී කරන්න ඕන ද, වැඩි මෛත්‍රියෙනුත් කේස් නේ ද, අර කතාවක් තියෙනවානෙ.. දෂ්ඨ නොකළ නයෙක්ව දර මිටියක් බඳින්න ගත්තා නේද.. ආදී වශයෙන් මට ඒ දවස්වල ප්‍රශ්ණයක් තිබුණා. මූලාශ්‍රයක වරදින් මම ඒ දවස්වල හිතාගෙන හිටියෙ ඒ කතාව බුදුහාමුදුරුවො දේශනා කරපු එකක් කියලා. ගොඩක් දෙනෙක් තර්ක කරන point එකක් මේ කතාව. ඕක සෙන් දහමෙ එන එකක්ලු. සෙන් ආචාර්යවරයෙක් කියපු එකක්. ඉතින් ඒක බුදුදහම නෙවෙයි කියලා තේරෙනවනෙ. බුදුදහමෙ එන විදියට මෛත්‍රියට සීමාවක් නැහැ. අපිට මොන දේ කොහොම කරපු කෙනෙක්ට වුනත් සමාව දෙන්න අපිට හැකියාව තියෙන්න ඕන. එහෙම නැති උනා ට කමක් නෑ, බල කිරීමක් නෑ. මොකද වස කුප්පිය ඔබේ අතේ නිසා තීරණය ඔබේ. මං මේ අදහස් කළේ කොන්ද පාත් කරං නෝංජලයෙක් වෙන්න කියන එක නෙවෙයි. ඒ වගේ අවස්ථාවලදි බුද්ධිමත්ව ස්ථානෝචිත මෙව්වා එකෙන් එයින් ඉවත් වෙන්න. ඒ වෙලාවට හිතන්න යන්න එපා “මූ මෙහෙම කළාට… පස්සෙ කාලෙක විපාක ලැබෙයි. හහ්! මංනං බේරුණා” කියලා. එතන හැංගිලා ඉන්නෙ මාරයා බව නුවණින් තේරුම් ගන්න.

බුදුරජාණන් වහන්සේ ම දේශනා කරලා තියෙනවා, අනාගතේදි බුදු දහම පිරිහෙමින් ගිහින් එක් හිමිනමක් ඉතිරි වෙනවා ලු. ඒ හිමිනම පැවිදි වූ බව පේන්න උඩුකය හරහා නූලක් දාගෙනලු ඉන්නෙ, (හරිහරි.. ඉණට ඇඳුම් ඇඳලා ඉන්නෙ 😀 ) සිවුරු නැතිලු. කසාද බැඳලා ලු. (- අග්ගඤ්ඤ සූත්‍රය) ඒ වගේ ම මහාවංශයෙ 7වන පරිච්ඡේදයෙ මුල් ඡේදයෙ තියෙනවා, අන්තිමට බුදුදහම ඉතිරි වෙන්නෙ ලංකාවෙ විතරයි කියලා. එතකොට හිතාගන්නකො ඒ හිමිනම ඉන්න රට මොකද්ද කියලා සහ ඒ රටේ ඇතිවන පිරිහීම? මං මේ බොග දැම්මා කියලාවත් හාමුදුරුවරු ගස් බැන්දා කියලාවත් මේක නවත්තන්න බෑ. සම්බුද්ධ ජයන්ති 5000ලු නෙ තියෙන්නෙත්. පිරිහීම නියතයි. හරියට ම කිව්වොත් ශාසනයත් අනිත්‍යයි. ඒ නිසා ඉන් වල්මත් නොවී තමන්ගෙ ජයග්‍රහණය – සංසාර ජයග්‍රහණය ගැන හිතලා කටයුතු කළා ම හරි. 🙂

ඒකෛයා නිරවද්‍ය වූවිට මහේක්‍ෂය නිරවද්‍ය වේ.

Advertisements