ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුල ආණ්ඩුවේ සහ සමාජයේ කාර්යභාරය

by Thambaru Wijesekara

[ආරාධිත ලිපියකි.]

ජේ.ඩී සිල්වා – ඇල්පිටිය
ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය ප්‍රබලතම ජනතා සංවාදයකින් සිදුවිය යුත්තකි. ශ්‍රී ලංකාවේ වර්තමානයේ මෙන්ම අනාගතයේද කේද්‍රීය ගැටළුව ලෙස ප්‍රමුඛස්ථානය ගෙන ඇති ජනවාර්ගික ගැටළු සදහා තිරසාර විසදුමක් මේ තුලින් ලබාදීම ඉතා අත්‍යවශ්‍යවී ඇත. ප්‍රජාතන්ත්‍රවාදය දැඩිව නව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුලින් ස්මතුකර දැක්විය යුතු කාලය මේවන විටත් උදාවී හමාරය. දැනට 19 වැනි ව්‍යවස්ථා සංශෝදනයෙන් පිහිටුවා ඇති ජනාධිපති කොමිසම් ද නව්‍යතාවයකින් ඉදිරිපත් කල යුතුවේ.

කාන්තාව අප රටේ හුදකලා තැනැත්තියක් බවට පත් නොකල යුතුකාලය එළැඹී ඇත. ඇය දේශීය වශයෙන් මෙන්ම විදේශීය වශයෙන්ද ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සෘජුවම සම්බන්ධවී ඇත. කෙසේ වුවද කාන්තාවට ඇති ගැටළු හෝ වෙනත් මුහුණදීමට සිදුව ඇති සාමාජීය දුෂ්කරතා සදහා විසදුම් සෙවීම සදහා කාන්තාවන්ට රටේ පාලන තන්ත්‍රය තුල නියෝජනය කිරීමට අවස්ථාව ලබාදීම අනිවාර්යෙන්ම සිදුකල යුත්තකි. එසේ උවහොත් කාන්තාව රටේ සුවිශේෂී චරිතයක් බවට පත්කල හැකිවනු ඇත.
අවුරුදු 30ක් පමණ පැවති දරුණු යුද්ධය නිසා විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්විය. හානියට පත්වූ විශාල පිරිසක් සිටී. දරුවන්ට දෙමව්පියන් අහිමිවී ඇත. මව්වරුන්ට දරුවන් අහිමිවී ඇත. බිරින්දෑ වරුන්ට ස්වාමි පුරුෂයාද, ස්වාමි පුරුෂයාට බිරිදද යුද්ධය නිසා අහිමි වී ඇත. දේපල ආදියද විශාල පමණින් විනාශවී ඇත. ජාතික ආර්ථිකයට දැඩි බලපෑමක් මේ නිසා සිදුවී තිබේ.
මෙවැනි තත්ත්වයක රටේ ජාතික ආර්ථිකය ගොඩනගා ගැනීමට සුවිශේෂි කාර්යභාරයක් වර්තමාන රජය මත පැවරී ඇත. එමෙන්ම රටේ තිරසාර සාමය සහ සංහිදියාව ගොඩනැගීමේ භාරදූර වගකීමක් ද රජය සතුව පවතී. මෙවැනි ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුලින් රටට තිරසාර විසදුම් ලබාදීමට ආණ්ඩුව ක්‍රියා කිරීම සැබවින්ම අගය කල යුතු වේ.
මෙය සත්‍ය වශයෙන්ම ආණ්ඩුවට පමණක් සිදුකල නොහැකිය. පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සියළු දෙනා එකතු විය යුතුවේ. එමෙන්ම ජනමාධ්‍යයට ද සුවිශේෂී කාර්ය භාරයක් ඇත. අධ්‍යාපනය, කලාව, සාහිත්‍ය යන අංශවල දායකත්වයද මේ සදහා පුළුල් ලෙස එක්විය යුතුය. කෙසේ වුවද මිනිසුන්ගේ සිතුම් පැතුම් අනුව පැන නැගී ඇති ගැටළු සදහා විසදුම් ලබාගැනීම සිදුකල යුතු වේ. ආණ්ඩුක්‍රමය පිළිබදව මෙන්ම ව්‍යවස්ථා සම්පාදනය පිළිබදව අනිවාර්යෙන්ම පුළුල් දැනුමක් සමාජ ගත කල යුතුව ඇත. පාසල් හා උසස් අධ්‍යාපනය තුල නව විෂය නිර්දේශ සිදුකිරීම සැබවින්ම සිදුකල යුතුය. මේ හරහා ව්‍යවස්ථාව පිළිබදව පුළුල් දැනුමක් සමාජ ගත කල හැකිය. එමෙන්ම ග්‍රාමීය නොදියුණු සමාජයේ ජීවත්වන ප්‍රජාවට මේ පිළිබදව දැනුම ලබාදීමේ ක්‍රමවත් වැඩපිළිවෙලක් රටතුල සැලසුම් විය යුතුය.
වීදුරු කාමරවල සිට රටේ අනාගතයට නව නිති රීති සම්පාදනය කිරීමේ ක්‍රමවේදයෙන් බැහැරවීම අනිවාර්යෙන් සිදුකල යුතු දෙයකි. නව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය සදහා ජනතා අදහස් ලබා ගැනීම දීපව්‍යාප්තව ක්‍රියාත්මක වුවද එය සාර්ථක වැඩපිළිවෙලක් වී නොමැත. දිස්ත්‍රික්ක මට්ටමින් ජනතා අදහස් ලබාගැනීමේදී සැමදාම ජාතික ප්‍රශ්න සදහා විසදුම් සෙවීමට කැපවී සිටින අයගෙන්ම මේ පිළිබදව විමසීම් නොකර බිම්මට්ටම දක්වා ලගාවී තොරතුරු ලබා ගැනීම වඩාත් ප්‍රායෝගික ක්‍රියාවක් වනු ඇත.
කෙසේ වුවද අවසානයේ සිදුවන්නේ එක දෙයක් පමණි. එනම් දේශපාල බලය ලබාගැනීම සදහාත් බලය පවත්වා ගෙන යාම සදහාත් විවිද මතවාද සමාජ ගත කරමින් අසරණ මිනිසුන්ගේ ජීවිත තව තවත් අසරණ කිරීමට කටයුතු කිරීම අනිවාර්යෙන්ම සිදුවන බව අප හොදාකාරව දකින්නෙමු. කෙසේ වුවද මේ අවස්ථාව වන විට රටේ අනාගතයට යහපත වෙනුවෙන් තීන්දු තීරණ ක්‍රියාත්මක කලහැකි කාලයක් බවට පත් කරගැනීමට වගකීමෙන් කටයුතු කිරීම මෙහි ජීවත්වන සියළුම දෙනාගේ කරමත පැටවී හමාරය.

Advertisements